Monday, December 10, 2012

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ අපවාදයට ලක්විය හැකියි - රනිල්


ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ අපවාදයට ලක්විය හැකියි - රනිල්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 10 සඳුදා - 12:42 GMT

Protest in Colombo
රාජ්‍ය පාලනය හමුදාකරණයට ලක් කිරීමේ අටියෙන් අධිකරණය මර්ධනය කරන බවට උද්ඝෝෂකයෝ ආණ්ඩුවට චෝදනා කරති
පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය අහිමිවීමේ මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ අපවාදයට ලක්වීමේ අවදානමට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බව විපක්ෂනායකවරයා පවසයි.


කොළඹදී පැවති 64 වන මානව හිමිකම් දින සමරුවට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ද නායකයා වන රනිල් වික්‍රමසිංහ ඒ බව පැවසුවේ අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වී තිබෙන දෝෂාභියෝග ක්‍රියාදාමය පිළිබඳව සඳහන් කරමින්.
"අපි ඉස්සෙල්ලම ලෝකෙන් එකතු වුන සංවිධානය තමයි පොදු රාජ්‍ය මණ්ඩලය. ඊට පස්සේ තමයි අපි එක්සත් ජාතීන්ගේ සංවිධානෙට ආවේ. දැන් අපි එක්සත් ජාතීන්ගේ සන්විධානෙත් මානව හිමිකම් ප්‍රකාශනයට අත්සන් කරලා තියෙනව," ඔහු පැවසීය.
ජනතා පරමාධිපත්‍යය සහ මානව හිමිකම් තේමාව මුල් කරගෙන මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබුනේ නිදහසේ වේදිකාව සංවිධානය විසින්.
අත් අඩංගුවට ගෙන සිටින යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් වහාම නිදහස් කිරීම සහ කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහිව එකමුතු වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් නීතිඥ නිමල්කා ප්‍රනාන්දු සමුළුව හමුවේ ප්‍රකාශයට පත් කළාය.

'ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා'

Ranil Wickramasinghe
'අපි ඉස්සෙල්ලම ලෝකෙන් එකතු වුන සංවිධානය තමයි පොදු රාජ්‍ය මණ්ඩලය. ඊට පස්සේ තමයි අපි එක්සත් ජාතීන්ගේ සංවිධානෙට ආවේ'
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝග විමර්ශනය පැවැත්වූ ආකාරය සමුළුව ඇමතූ සියලුම කථිකයන්ගේ විවේචනයට ලක්විය.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අභිබවා යමින් අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අනුමත නොකරන බව මේ අතර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසයි.
ඔහු ඒ බව පැවසුවේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා ඉල්ලා අස්කරගන්නා මෙන් රජයට බල කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ලිප්ටන් වට රවුමේ පැවැත්වූ උද්ඝෝෂණයකදී.
රාජ්‍ය පාලනය හමුදාකරණයට ලක් කිරීමේ අටියෙන් අධිකරණය මර්ධනය කරන බවට ජාතික ක්‍රිස්තියානි සම්මේලනයේ සත්‍යවේල් පියතුමා එහිදී ආණ්ඩුවට චෝදනාවක් එල්ල කළේය.
මේ අතර නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කළේ දෝෂාභියෝගයට මැදිහත් වන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීම මගින් රටේ ස්වෛරීභාවයට හානි වන බවට ආණ්ඩුව කරන ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බවයි.
"එයාට පුළුවන් නම් ජාත්‍යන්තර ණය අරගෙන අපේ ලේ බොන්න ලෑස්ති කරන්න අපිටත් අයිතියක් තියෙනවා ලෝකේ පුරා ගිහිල්ල එකට විරුද්ධව කතා කරන්න," ඔහු පැවසීය.

0 comments: